Wednesday, 18 December 2013

President Son Hit And Run

ඉරිදා කොළඹ නයිට් රේස් ගිය නාමල් ඊට පෙර ඉරිදා රේස් ගිහින් අහිංසකයෙක් යට කර මරා දමා පැන ගිහින්: තවකෙකුගේ කකුලක් කපලා: පොලිසිය සිද්ධිය වහයි---

(ලංකා ඊ නිව්ස් -2013.දෙසැ.18, ප.ව.11.30) පසුගිය ඉරිදා කොළඹ නයිට් රේස් ගිය හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ ඊට පෙර ඉරිදා (දෙසැ 8 දා) කොටදෙනියාවේදී රේස් යෑමට ගොස් අහිංසක ජීවිතයකට මරු කැඳවා තවත් ජීවිතයක් සදාකාලික අබ්බගාතයෙකු බවට පත් කර එම අපරාධය සියළු දෙනාගෙන්ම වසන් කිරීමේ බිහිසුනු ක්‍රියාවක් "ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය" වෙත වාර්තා වේ.

8 දා පවනට බඳු වේගයෙන් දිවුලපිටිය හරහා කොළඹ බලා එමින් සිටි නාමල් රාජපක්ෂගේ රථය සමග පරිවාර රථ දෙකක්ද පැමිණි අතර කොටදෙනියාව පොලිස් වසමට අයත් කොරදමින්ද ප්‍රදේශයේදී පසුපසින් පැමිණි පරිවාර රථය පාරේ ගමන් ගත් අහිංසකයක් දෙදෙනෙකු යට කරමින් අනතුරකට භාජනය විය.

පසුපස රථය මිනිසුන් දෙදෙනෙක් යට කරනවා දුටු නාමල් රාජපක්ෂ සහ පිරිවර මඳක් නවතා බලා අසරණයන් දෙදෙනා පාරේ මියැදෙන්නට ඉඩ හැර පලා ගියේ ඉතිරි වැඩ කොටස පොලිසියට බාර කරමිනි.

නාමල් රාජපක්ෂගේ රථයට පසුපසින් පැමිණි අසරණයන් දෙදෙනා යට කරමින් පලාගිය කළු පැහැති ඩිෆෙන්ඩර් රථයේ අංකය මේ අවනඩුව දුටු පුද්ගලයෙක් ලියා ගත්තේ ය. එය කේඩී.9976 නම් විය.

අනතුරට ලක් වූ දෙදෙනා එස්.ඒ.සමරසිරි සහ ආර්.එස්.රූපරත්න හෙවත් නිලමේ නමැති ගම්වාසීන් දෙදෙනෙකි. සමරසිරිගේ තත්ත්වය බරපතල විය. රූපරත්න වෘත්තියෙන් බාස් උන්නැහේ කෙනෙකි. දෙදෙනා දිවුලපිටිය රෝහලට ඇතුලත් කරන ලද අතර දෙදෙනාගේම පාදයන් එම අවස්ථාවේදීම කපා ඉවත් කිරීමට සිදුවූ අතර සතියක් පුරා එළොවත් මෙළොවත් අතර හිඳිමින් ජීවිතය බේරා ගැනීමට සටන් කළ එස්.ඒ.සමරසිරි අද(18) මිය ගියේය. රූපරත්න බාස් උන්නැහේ තවමත් රෝහලේය.

සිද්ධියෙන් පසු නාමල්ගේ දුරකථන ඇමැතුම් ලද සැනින් දිවුලපිටිය, මිහිරිගම, කොටදෙනියාව පොලිස් ස්ථාන තුනෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුන් සහ සහකාර පොලිස් අධිකාරී වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක්ම පැමිණ සිද්ධිය යට ගැසීමට සියළු වැර වෑයම් කළහ. තවමත් කරති. රෝහල්ගත රෝගීන් දෙනො හමුවීමට පවා ඉඩ නොදෙති.

මාරාන්තික රිය අනතුර සිදුකරමින් පලාගිය වාහනයේ අංකය පවා තිබියදී, දැන් අයෙක් මිය ගොස්ද තිබියදී මේ එකදු පොලිසියක් හෝ මේ අනතුර ගැන පැමිණිල්ල ලියා ගැනීම ප්‍රතික්ෂේප කිරීම නින්දිතය. තුච්ඡය. තිරිසන්ය. බල්ලෙක් රියකට යට වී මිය ගියද අනෙක් බල්ලෝ පැමිණ තම සහෝදර බල්ලා ඉව කරමින් ඌ ලෙවකමින් මග යන්නන්ට පවා බුරා පනිමින් තම වර්ගයා වෙනුවෙන් හැසිරෙන ආකාරය අප කොතෙකුත් දැක ඇති නමුත් මේ පොලිසි තුනේ ලොක්කන්ට ඒ බලූ ගුණයවත් තිබුනේ නැත.

වරක් එළාර රජුගේ පුත් කුමාරයා සිය අශ්ව රියෙන් රේස් යද්දී පාරේ සිටි වහුපැටවෙකු යට කිරීමෙන් වහුපැටවා මිය ගියේය. දැඩි සොවින් පෙලූනු එළදෙන ඝන්ඨාවක් නාද කර එළාර රජුට එපවත් සැළ කිරීමට සැලැස්වීමෙන් පසු එළදෙනට සාධාරණය ඉටු කරනු වස් එළාර රජු පුතාගේ හිස ගසා දැම්මා යයි පුරාවෘතයේ සඳහන් වේ.

කොටදෙනියාවේ කිසිවෙක් නාමල්ගේ හිස ඉල්ලන්නේ නැත. තම ගමේ අහිංසකයෙක් යට කර මරා දමා තව අහිංසකයෙකු සදාකාලික අබ්බගාතයෙක් කර පලා ගියවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලති. ඒ නීතිය සාධාරණය අද ඉෂ්ඨ නොවුනහොත් හෙට නාමල්ගේ පමණක් නොව පරම්පරාවේම හිස් පමණක් නොව අංගජාතයන් පවා ගලවා ගැනීමට ජනතාව පසුබට නොවන බව නම් ඒකාන්තය.

No comments:

Post a Comment