කුඩු ගෙන්වන අය අල්ලා ගැනීම රජයේ මූලික පරමාර්ථය බව ජනපති කියයි
ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙන්වන මුවාවෙන් බෝල්ට් ඇණ සමග පාකිස්ථානයේ සිට ගෙන්වූ කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝ 36 පසුගියදා සොයාගැනුණි. එහි වටිනාකම රුපියල් කෝටි 36 ක් බව පැවසේ.
මීට පෙරද ගෙන්වූ හෙරොයින් කිලෝ ගණන් වරායේදී හසුවුණු අතර හික්කඩුව ප‍්‍රදේශයේදී හොරොයින් කිලෝ 10ක් සොයාගැනුණි.
කුඩු පමණක් නොව එතනෝල් ගෙන්වීමද පසුගිය කාලයේ ජයටම කෙරුණු අතර ඒවාට චෝදනා එල්ලවූයේ බාර් සියයකට ආසන්න සංඛ්‍යාවක් අයිති රජයේ ඇමතිවරයෙකුට, රජයේ පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකුට හා ඔවුන්ගේ ගෝලබාලයන්ය.
පසුගිය කාලයේ කිරිපිටි පැකට් වෙළඳපොළේ හිඟ වෙද්දී කුඩු පැකට් හිඟ නොවන තත්වයක් තිබූ බව එක්සත් ජාතික පක්ෂය පැවසූ අතර අගමැතිවරයාට එල්ලවූ කුඩු කන්ටේනරයක් ගෙන්වීමේ චෝදනාව යට ගියේ ගයේෂා හා ජින්ජර්ට පිංසිද්ධ වෙන්නටයි.
වරක් මාදුළුවාවේ සෝභිත හිමියන් මෙම කුඩු ගෙන්වීම පිළිබඳව ප්‍රකාශ කර තිබුණේ "මැති ඇමතිවරු කුඩු ගේනවා. පොලීසිය කුඩු විකුණනවා" යනුවෙන් බව අප විසින් හෙළි කරන ලදි.
කුඩු ගෙන්වීම හා බෙදාහැරීම පිළිබඳ කැළණිය ප්‍රදේශයේ හා කොළොන්නාව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට චෝදනා එල්ලවූවත් කුඩු ගෙන්වීමට මූලික වන එම පුද්ගලයා ලංකාවේ නීතිය අනුව හසුකරගැනීමට මෙතෙක් කල් සිදු නොවුනේ ඔවුන් රජයේ ප්‍රබල තනතුරු දරන්නන් නිසාය.
මීගමුව ප්‍රදේශයේ කුඩු සෙවීම සඳහා වරක් හමුදාව විසින් නිමල් ලංසාගේ නිවසා සෝදිසි කළ අවස්ථාවේ පසුවදාම එහි ගොස් එම සෝදිසි කිරීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයා විසිනි.
ලංකාව කුඩු පාරාදේසයක් වීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් ජනතාව ප්‍රශ්නකර තිබූ අතර ඔහු පිළිතුරුදී තිබුණේ කුඩු ගෙන්වීමට මූලික වන පුද්ගලයන් ඇල්ලීමට රජය කිසිවිටෙක පසුබට නොවන බවයි.
"කුඩු බොන අය නෙවෙයි අල්ලන්න ඕනේ කියන එකයි මගේ නම් විශ්වාසය. කුඩු මේ කට්ටියට පොවන අය අල්ලා ගැනීම තමයි අපේ මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය සෑම වැඩ පිළිවෙලක්ම ගන්න කියලා හමුදාවට හා පොලීසියට අපි දන්වලා තියනවා. මත්ද්‍රව්‍ය පිළිබඳව කටයුතු කිරීමට අපි කිසිවිටෙකත් පසුබට වෙන්නේ නෑ. තරාතිරම බලන්නේ නෑ."